මගේම තැනක්
මම උදේ එකොලහට විතර විශ්වවිද්‍යාල පුස්තකාලේ ඉන්න වෙලාවෙයි මගෙ මෝබයිල් ටෙලිෆෝන් එක නාදවුනේ. ඇමතුම එන්නේ මට කුලී ගෙදරක් සොයන ඒජන්ත මිතිලාගෙන් බව දුටු වහාම මම පුස්තකාලෙන් එලියට දිව්වා - ඇතුලේ ටෙලිෆෝන් පාවිච්චිය තහනම් නිසා.
“හලෝ?”
“හා උපාලී… මේ මිතිලා රාජ්. අපි බලපු ගෙදර වැඩ ටික ඔක්කම ඉවරයි - දැන් යතුර බාරගන්න පුළුවන්!”
“තෑන්ක්යූ මිතිලා - කොයි වෙලාවෙද යතුරු ගන්න පුළුවන්?”
“දැනුත් පුළුවන් - දැන් උපාලී කොහෙද?”
“මම පුස්තකාලේ - පැය බාගෙකින් එනවා!”
කිව්වා වගේම හරියට පැය බාගෙකින් මම මිතිලගෙ කන්තෝරුවට ගොඩවුනා.
“මේ ගිවිසුම අත්සන් කරලා ඒකේ ලියලා තියෙන මුදල ගෙව්වම යතුර දෙනවා… අල්ලපු බිලිඩිමේ ඒ ටී එම් එකක් තියෙනවා සල්ලි ගන්න ඕනනම්. ක්‍රෙඩිට් කාඩ්නම් මට මෙතෙන්දිම වැඩේ ඉවරකරන්න පුළුවන්”
මම ක්‍රෙඩිට් පත එලියට ගත්තේ ගිවිසුම අත්සන්කරන ගමන්මයි.
“උපාලී දැන්මම අළුත් ගෙදරට යනවද?”
“නෑ…. මම හිතුවේ අද රෑත් නේවාසිකාගාරේ නැවතිලා එතන වැඩටික ඉවරකරලා යාළුවන්ටත් කියලා බඩුත් අරන් හෙට උදේ එන්න කියලා”
“රයිට් - මට කෝල් එකක් දෙන්න එතකොට මම අ ඇවිත් ඉන්නවා ගෙදර ලඟ”
“ඒක කරදරයක් නේද එහාට එන එක? තව මොනවත් අත්සන් කරන්න එහෙම තියෙනවානම් මට පුළුවන් මෙතෙන්ට එන්න…”
“මට තියෙන්නේ ගෙදර ලයිට් වතුර එහෙම හරිද කියලා බලන්න, උපාලී පදිංචි වෙන්න ඉස්සර - ඒක අපෙ කන්තෝරුවෙන් කෙරෙන්න ඕන දෙයක්…. මට පුළුවන් උදේ නේවාසිකාගාරෙට කාරෙකේ එන්න; අපි බඩුත් පටවාගෙන කෙලින්ම අළුත් ගෙදරට ආවොත් කිසි කරදරයක් නෑ”
“මිතිලට වැඩ වැඩී නේද?”
“පිස්සුද? පිට රටකින් ඇවිත් ඉන්න උපාලී වගේ කට්ටිය හොඳට බලාගන්න ඕනනේ!”
මිතිලා පොඩ්ඩක් හිනාවුනා.
ඒ වෙලාවෙයි මම ඉස්සරවෙලාම මිතිලා දිහා “කෙල්ලෙක්” දිහා බලන හැටියට බැළුවේ. මෙතෙක් මිතිලා නිවාස ඒජන්ත කෙනෙක් මිස ස්ත්‍රී පක්ෂයට අයිති කෙනෙක් හැටියට මම දැක්කෙ නෑ. මිතිලගෙ ඒ හිනාවෙන් පස්සේ තමා මගෙ හිත වෙනස්වුනේ. “පරෙස්සමෙන්!” කියලා මම මටම හිතෙන් කියාගත්තා.
………………………..
නේවාසිකාගාරේ පාලකයන්ටත් ගවේෂණයට සම්බන්ද කෑම් සහ චක් වැනි අයට මගේ ලිපිනය වෙනස්කිරීමේ ප්රවුතිය දෙන්න ඒ තරම් වෙලා ගියේ නෑ. රාහිත් ඇතුළු මිත්‍රයන්ගෙන් සමුගන්නට ඊට වඩා වෙලා ගියා. මින් පසුවත් දිනපතා නැතත් කීප දිනකට සැරයක්වත් හමුවෙන බලාපොරොත්තුවෙන් අපි වෙන්වී ගියේ රෑට කා බීර වීදුරු කීපයක් බීමෙන් පසුවයි. මගෙන් සතයක්වත් වියදම් නොවෙන්න මගෙ ශිෂ්‍ය යාළුවෝ වග බලාගත්තා. සාමාන්‍ය ශිෂ්‍යයෝ හැටියට අතේ මුදල් නැතිවුනත් මා වෙනුවෙන් එහෙම වියදම් කිරීම ගැන මට දැනුනේ සන්තෝසයකුත් සමග දුකක්. අපි වැඩි වෙලාවක් බීර ශාලාවේ නැවතුනේ නැත්තේ මට තවම බඩු අහුරාගන්න පටන්ගනත් නැති නිසයි.
මිතිලගෙ පොඩික් කාරෙක එනකොට මම මගෙ බඩුත් අරගෙන එලියේ. අපි වැඩි කතාවක් නැතුව ගෙදරට ගියා. මම බඩුත් උස්සාගෙන නිදන කාමරේට ගියා - මිතිලා කුස්සියෙයි නානකාමරෙයි වතුරයි විදුලියයි බලලා ටෙලිෆෝන්, ඉන්ටනෙට් රවුටර්, ශීතකරන, විදුලි උදුන් වගේ හැම දෙයක්ම හරියට වැඩකරන බව සනාථ කරා. දොරවල් වල යතුරුත් ගේ පිටතින් ඇති විදුලි බුබුලුත් පරීක්ෂාකළේ ඉන් පසුවයි.
“සේරම වැඩකරනවා… කෑමට ඕනදේ එහෙම ගන්න ඕන නේද?”
“ඒකත් ඇත්ත… ලඟම සුපර්මාකට් එක කොහෙද?”
“මං හිතන්නේ උපාලිට සුපර්මාකට් වලට වැඩිය හොඳයි මේ ගෙවල් පිටිපස්සේ තියෙන කඩ පේලිය. එතනින් ඕනම දෙයක් ගන්නත් පුළුවන් වගේම ලඟපාත කඩ වලට සහයෝගේ දෙන එක සේරටම හොඳයි. අනික, ඒ අය හඳුනාගත්තම හදිස්සියක්වුනොත් සල්ලි නැතුව උනත් බඩු ගන්න පුළුවන්”
“ඒක නියමයි… එතන කෝපි කඩයක් එහෙම තියෙනවද?”
“ඔවු. දෙකතුනක්ම තියෙනවා”
“එහෙනම් මිතිලා මාත් එක්ක කෝපි එකක් බොමුද, මට උදව්කළාට?”
මිතිලා මා දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා කිසි දෙයක් නොකියා. ඊට පස්සේ ඔර්ලෝසුව දිහා බලලා යන්තම් හිනාවුනා.
“එහෙනම් මල්ලකුත් අරගෙන එන්න - බඩු ගන්න කඩ එහෙමත් පෙන්නන්නම් - එක සැරේම ඒ වැඩෙත් ඉවර කරලා දාන්න. හැබැයි මට තව විනාඩි තිහකින් කන්තෝරුවේ ඉන්න ඕන”
දවසේ ඉතුරු හරිය මම ගතකළේ ගෙදර මට ඕනෑ විදිහට සකස්කරගන්නයි. නිදන කාමරෙයි කන්තෝරු කාමරෙයි ඇරුනුකොට කුස්සියත් සාලයත් නාන කාමරෙත් මම කැමති විදිහට තියෙන්න බඩු මුට්ටු එහාට මෙහාට කරගත්තා. ඉන් පස්සේ මගෙ අළුත් මේසේ ලඟ වාඩිවෙලා චක්, කෑම්, සෑම් සොයිසා වැනි අය වගේම පුංචි අයියටත් විදුලි ලිපි ලිව්වා. රාවිත්ට විතරක් ටෙලිෆෝන් එකෙන් කතාකරලා මගේ අළුත් ලිපිනය දුන්නා.
මගෙ අදහස තිබුනේ මොනවාහරි උයාගෙන කාලා මගේ අළුත් නිවසේ තනියම රෑ ගෙවන්නයි.
…………………………
අළුත් ගෙදරට ඇවිත් දවස් දෙකක් යන්න ඉස්සර මට සෑම් සොයිසාගෙන් දිග ඊමේල් එකක් ආවා.
“සතුටුයි ගෙදරක් ලැබුන එක ගැන. ඒක කොයි අතිනුත් හොඳයි, කොල්ලෝ සියගානක් එක්ක නේවාසිකාගාරේ ඉන්නවට වඩා. මම ලොක්කන්ට කතා කළා ගෝනියාවේ ගමන ගැන. සති දෙක තුනකින් මට එන්න පුළුවන්, සතියකට විතර. උපාලිට කාරෙකක් සොයාගන්න පුළුවන්නම් මම කැමතියි දවස් තුනක්වත් ෆීල්ඩ් එකේ වැඩකරන්න. මම කැමතියි ඔය උදව් කරන යාළුවන්ට පොඩි පාටියක් දෙන්නත්. චක්ලට කෑම්ලටත් ඩිනර් එකක් දෙනවා”
“මට උපාලී එක්ක ඉන්න පුළුවන්ද? නැත්නම් මම යුනිවසිටි එකේ නවතින්නම් - ඒක ප්‍රශ්නයක් නෙවෙයි”
“දැනට වෙලා තියෙන වැඩ කොටස බලලා මිට පස්සේ කරන්නේ මොකද කියලා තීරණයක් ගනිමු. අපි දෙන්නට පුළුවන් ඒ වැඩවලින් පේපර් එකක් ඊලඟ සෝසියෝලොජි කොන්ෆරන්ස් එකේ කියවන්න”
“මෙහෙන් මොනවත් ගේන්න ඕනද මං ආවොත්?”
සෑම්ට වහාම උත්තරයක් ලිව්වා - ලංකාවෙන් කිසිම දෙයක් ඕනෑ නැති බවත්, සෑම් මා සමගම නැවතියයුතු බවත් කියලා.
පුංචි අයියගෙන් ආ පනිවිඩය කොටයි.
“තෑන්ක්යූ ඇඩ්රස් එව්වට. මෙහෙ වෙනසක් නෑ. ඔහෙත් එහෙම ඇති කියලා බලාපොරොත්තු වෙනවා. පවුලයි කෙල්ලොයි හලෝ කිව්වා”
ඒකට උත්තරේ ලේසියි - ‘හලෝ!’ විතරයි.
මගෙ අළුත් ජීවිතේට හුරු පුරුදු වෙන්න මට ඒතරම් කල් ගියේ නෑ. උදේට මොනවත් හදාගෙන කන ගමන් දවසේ වියයුතු වැඩකටයුතු ලයිස්තුව අළුත්කළා - ඉවරකළ වැඩ කපා දමලා අළුත් වැඩ එකතුකරලා. නේවාසිකාගාරේ වගේ නෙවෙයි උදේ කෑමත් එක්ක මේ කාරිය ඉවරකිරීමෙන් මට සෑහෙන වෙලාවක් ඉතුරුවුනා. දවල් කෑමටත් යමක් මල්ලේ දාගෙන ගෙදරින් පිටත්වුනේ ආයෙ කීයට ගෙදර එයිද නොදැනයි. මෙතෙක් එකතුකරගත් දත්ත එකලස් කර අනාගත වැඩ පිලිවෙත සවිමත් කිරීමේ උපායන් සෙවීමටයි මේ දවස්වල මගේ කාලය ගෙවුනේ. සෑම් සොයිසා එන්න ඉස්සර මේ වැඩේ ඉවර කරන්නයි මගේ බලාපොරොත්තුව වුනේ.
ගෙදරින් පිට වෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දියි රාහිත් ටෙලිෆෝන්කළේ.
“හේ උපාලී… මේ රාහිත්”
“ගුඩ් මෝනිං රාහිත්!”
“ගුඩ් මෝනිං… තවම ගෙදරද?”
“ඔවු… දැන් පිටත්වෙන්න කිට්ටුයි. ඇයි මොකද?”
“…. අ…. උපාලී …. උපාලී අද උදේ හරි බිසීද?”
“නෑ…. ඒ තරම්ම නෑ. ඇයි?”
“අපිට හම්බවෙන්න පුළුවන්ද … වැඩ පටන්ගන්න ඉස්සර?”
“ප්‍රශ්නයක් නෑ … කොහෙදිද?”
“පුස්තකාලේ ඉස්සරහ? කෝපි කඩේ?”
මම කෝපි කඩේට එනකොට රාහිත් කෝපි දෙකක් ඇරගෙන මම එනවා බලාගෙන ඉන්නවා, හරිම හදිස්සියෙන් වගේ.
“මොකද රාහිත් කලබලේ?”
“අද උදේ මොනවත් මීටිං එහෙම තියෙනවද?”
“එහෙම එකක් නෑ - දවසම පුස්තකාලේ ඉන්නයි හිතුවේ”
“අපෙ ගෙදර යමුද?”
මම තවම ගෝනියාවේ පුද්ගලික ගෙදරකට ගිහින් නෑ. යන්න කොයිතරම් කැමැත්තක් තිබුනත් යාළුවන්ගෙන් අහන්න හිත දුන්නෙ නෑ.
“විශේෂ අවස්ථාවක්ද?”
“ගෝනි පාටියක් - ආයෙ උපාලිට මේවා කවදා දකින්න ලැබෙයිද දන්නෙ නැති නිසා කතාකළේ”
බස් එකේ යනගමන් මට රාහිත් කිව්වා පාටිය ගැන. එයාගෙ අක්කගෙ දුවට වයස මාස එකොලහයි. නෑදෑයෝ එකතුවෙලා දරුවගෙ ‘ගෝනිමල්ල’ දැනටම අරගෙන තියෙන්නේ - අද තමා ප්‍රධානය කරන්නේ. සාමාන්යෙන් පවුලෙන් පිට අය සහභාගි නොවුනත් රාහිත්ගෙ අක්කා කිව්වළු “උපාලිත් එක්ක එන්න” කියලා - මගෙ ගවේෂණවලට උදව්වක් හැටියට. රාහිත් ගෙදර අයට කියලා තියෙනවා මා ගැන,
පාටියේ හිටිය අයගෙන් ඉතාම වැදගත් හැටියට සැලකුනේ හතරදෙනයි. එයින් තුන්දෙනෙක් මම බලාපොරොත්තුවුන වැදගත්තු - බබා නීලානී සහ බබාගෙ දෙමව්පියෝ වන රෙහානී සහ හිරාන්. නමුත් පුටුවක වාඩිවීසිටි වයසක ගැහැනුකෙනෙකුයි මුල් තැන ගත්තේ. කවුරුත් ‘මාපා’ කියලා හැඳුන්වූ ඈ රිහාතුයි රෙහානගෙයි තාත්තගෙ අම්මා - ආච්චී. විතත පවුලේ වැඩිමහලාවූ මාපා සියලු දෙනාගේ අරුබුහුමන් ලැබුවා වගේම බබාට ගෝනි මල්ල ප්‍රධානය කිරීමේ රාජකාරියත් ඇයටයි බාරවී තිබුනේ.
අමුත්තෙක් හැටියට පවුලේ සියල්ලන්ටම වගේ මාව හඳුනා දුන්නේ රාහිත්. පළමුවෙන්ම රාහිත්ගෙ දෙමාපියොත් සහෝදරියත් මස්සිනත් හඳුන්වාදී මාව ඇදගෙන ගියේ ‘මාපා’ වෙතටයි. මම ලංකාවේ ක්‍රමයට අත් දෙක එකතුකර හිස නමා ඇයට ආචාරකළේ මගේ ආච්චී කෙනෙකුට කරන විදිහටයි. ඈ මගේ ඔලුවට අත තියා මට නොතේරෙන යමක් කියලා ටිකක් හිනාවුනා. මම රාහිත් දිහා බැලුවා පරිවර්තනයක් බලාපොරොත්තුවෙන්.
“පිටරැටියෙක් වුනාට සිරිත් දන්නවා! පොඩි එකාගෙ යාළුවා සාදරෙන් පිලිගන්නවා!”
මට හිනා ගියා. ඒ දැකලා මාපා ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන්ගත්තා.
“ලංකාවේ කොහෙද?”
“මම ඉපදුනේ මහනුවර වුනාට ජීවත් වෙන්නේ කොළඹයි ගාල්ලෙයි”
මේ තැන් ගැන මාපා අහලාවත් ඇද්ද නැද්ද නොදැනත් මම එහෙම කිව්වේ වයස වැඩිනිසා දැනුම අඩුයි කියලා හිතන්න නරක නිසයි.
“මට තේරෙන්නෙ නෑ ටිකක්වත් සීතල මහනුවර දාලා මූදුබඩට ආවේ ඇයි කියලා!.... පුදුම වෙන්න එපා මම ලංකාව ගැන දන්න එක ගැන. මට ලංකාවේ ‘පෑනේ මිතුරෙක්’ හිටියා මං පොඩි කාලේ. අපි අවුරුදු විස්සක් විතර ලිව්වා…. නමුත් ඒක නැතිවෙලා ගියා අපි කසාද බැන්දැන් පස්සේ…. ඔන්නු, රෙන්ඩු, මූනු…. මට ලංකාවේ ගණන්කරන හැටිත් කියලා දුන්නා!”
“ශඃ! තවම මතකයි!”
මාපා රාහිත් දිහා බැලුවේ ‘මොකද මෙයා කියන්නේ?’ කියලා අහනවා වගේ. රාහිත් ඒකට උත්තර නොදී මාපගෙන් ඉල්ලීමක් කළා.
“උපාලිට දැනගන්න ඕනෑ ගෝනි මල්ලක් ප්‍රධානය කරන චාරිත්‍ර ගැන - මාපට පුළුවන්ද ටිකක් කියල දෙන්න? මේක උපාලී කරන ගවේෂණයක වැදගත්ම කොටසක්”
මාපට ඒකෙන්ම තේරෙන්න ඇති මම එයාගෙ මතකේ ගැන පුදුමවුනේ කියලා.
“රාහිත් යාළුවට පුටුවකුයි බොන්න මොනවාහරියි ගෙනත් දෙනවද? මටත් තේ එකක්! මෙතන චාරිත්‍ර පටන්ගන්න තව පැය බාගයක් වත් තියෙන නිසා දැන්මම ඒක ගැන කතා කළොත් හොඳයි නේද?”
මාපාගේ චාරිත්‍ර විස්තරයත් මගේ ඇස් දෙකින්ම දුටු චාරිත්‍ර වාරිත්‍රත් මම සටහන්කර ගත්තේ රාහිත්ගේ අවසරෙන් අනික් නෑදෑයෝ දවල් කෑමට වාඩිවූ වෙලාවෙයි. සියල්ලන්ගෙන් සමුගෙන මම ආපසු නගරයට ආවේ තනියමයි - රාහිත් රෑත් එහි නවතින්න තීරණය කරගත් නිසා.
…………………
ගෙදර ආ මට දැනුනේ විශාල පාළුවක්. එක අතකින් අද ලැබූ අත්දැකීම් ගැන කා සමග හෝ කතාකිරීමට මට අවශ්‍යවුනත් නේවාසිකාගාරයේ වගේ ගෙදර වෙන කෙනෙක් නෑ. ඒ වගේම රාහිත්ගේ පවුලේ පැහැදිලිව පෙනෙන්න තිබූ කිට්ටු බැඳීම ගැන හිතනවිට මට මතක් වෙන්නේ මට එහෙම පවුලක් මෙහෙ නැති බවයි. ටෙලිෆෝනය අතටගත් මම සටහන් වී ඇති මිත්‍රයන්ගේ නොම්බර එකින් එක කියෙව්වා. අංතිමට මම කතාකළේ යාළුවෙකුට නොව - මිතිලාටයි.
“හලෝ උපාලී… මොකද ගෙදර ප්‍රශ්නයක්ද?”
“නෑ නෑ…. සේරම හොඳයි…”
පොඩි නිශ්ශබ්දතාවයක්.
“… එහෙනං..?”
“… අ .. මිතිලා…මාත් එක්ක ඩිනර් වලට එන්න කැමතිද? … ඇහුවට තරහවෙන්න එපා… … බෑ කිව්වොත් මට තේරුම් ගන්න පුළුවන්… හම්බවෙලා දවස් කීයද?”
මං හිතපු තරම් විරාමයක් නැතුව උත්තරේ ආවේ.
“ඩිනර් නම් බෑ …. හැබැයි කෝපි එකක් බොන්න වෙලා තියෙනවා වැඩ ඉවරවුනාම - ගෙවන්නේ මම, ගිය සැරේ උපාලී ගත්ත නිසා… එදා කෝපි කඩේට පහ හමාරට?”
මේ තරම් ඉක්මනට කැමතිවුන එක මට පුදුමයක් වගේම එක අතකින් දුකක්. මිතිලා මා දිහා බලන්නේ ගනුදෙනුකාරයකු ලෙස පමනයි. ‘කමක් නෑ - අඩුගානේ අද හවස කතාකරන්නවත් කෙනෙක් ඉන්නවානේ’ කියලා මම හිත හදා ගත්තා.
“මිතිලා … මම අද යාළුවෙක්ගෙ ගෙදර ගියා එයාගෙ අක්කගෙ දුවගෙ ‘ගෝනි ප්‍රධානෝත්සවයට’. එහෙදී මුනගැහුනා යාළුවගෙ වයස අසූවක් විතර ආච්චී. එයාගෙ මතකේ මට පුදුමයි - අවුරුදු හැටකට ඉස්සර දේ තවම මතකයි…. මට අදම මේක ගැන කවුරුත් එක්ක කතා කරන්න ඕන නිසා තමා මම මිතිලට කතාකරේ”
“ශඃ! අපරාදේ - මං හිතුවේ මගේ රූපලාවණ්‍යය නිසා කතාකළේ කියලා!”
මට කට උත්තර නැතුව ගියා. සමහරවිට මගෙ කන්දෙකත් රතුවෙන්න ඇති - ඒකයි මිතිලා ආයෙත් කතාකළේ.
“සොරි! විහිළුකළාට සමාවෙන්න - ඒ මම සාමාන්යෙන් යාළුවන්ට කතා කරන විදිහ… සොරි!”
“නෑ නෑ … මමයි ගොං කතාවකින් පටන්ගත්තේ… මම කැමතියි මාවත් යාළුවෝ හැටියට දකිනවානම්…. රූපලාවණ්‍යයෙන් කිසි අඩුපාඩුවක් නැතිබව ඕන ගොනෙකුට පේනවා…”
මිතිලා හිනාවුනා - මට මතක්වුනා පරන බයිලා තාලයක් - ‘මාගේ පැලෙ අඳුර නසන්න!’ කියලා.